Sunday, November 28, 2010

හද රැඳි පැතුම..

උදයෙම  පිබිද විකසිත වන කුසුම නෙලා
එය  සතු  සුවඳ පිස   මදනල හමනු  බලා
දුරකට  හමන   පවනැලි හා එකතු වෙලා
දිනයෙක සොඳුර එනවද මා වෙතට ගලා

ආලය  නමැති   දිගු   අසිපත්  පහර  වැද
හදවත  නගන  හඬ  ඔබ හට ඇසෙනවද
ඒ  හඬ  මියෙනු  පෙර  ගුවනට  මුසුව අද
ඔබ මුව සිනහ ඔසු පැන්  මට පොවනවද

ගනඳුරු   රැයෙක  දැල් වූ  මිනි පහන   මෙන
රැඳෙමින්  මහද  එලි කර  හැම  අඳුරු කොන
අඩවන් දෙනෙත තුල සෙනෙහස පුරවගෙන
ඔබ   මුව මඬල  මා  උර මත  හොවනු   මැන

Saturday, November 13, 2010

ගුරු සිත නොරිදවා...

මා  සතු  සිප්   සතර  නිරතුරු  ලැබ  ගන්නා
සිසු කැළ  බොහෝ ඇත පංතිය තුළ ඉන්නා
ඉදිරියෙ පෙළක ඔබ නෙත් යුග ඇත දන්නා
ඒ  නෙතු  නිතර  මා  දෙස  බලමින් උන්නා

මොහොතක  සිටී  හසරැළි කැන් මුවග ඇඳී
සිනහව මැකේ තව මොහොතක කඳුළු රැඳී
අතරින්  පතර  ඔබ   නුවනග   බැලුම්    දිදී
නිසසල  මසිත  හෙමිහිට  ඔබ  වෙතට  අදී

ඔබ  රුව  දැකුම  හා  ඉඳහිට  දොඩන  බස
සැබවින් කියතහොත් මා සිත කරයි තොස
එනමුදු  නොමැත  අවසර ලෝ දහම ලෙස
ගුරු  සිසු  ඇසුරකට  පොතපත  වලට  මිස

අවිහිංසකයි බොලඳයි  ඔබෙ යොවුන් සිත
දිවි  මඟ  කම්කටොළු  තව මුණගැසී නැත
අද  දින  උගෙන  පෙම් හදකට බැඳී නෙත
මතු  යම් දිනෙක පුද දෙනු මැන ඔබේ අත

Sunday, November 7, 2010

එනමුත්..?

නොමැතිව එකඳු දිය    බිඳ
පවසින් පෙළෙන විට   තද
ඈතින් පෙනෙන දිය    කඳ
මිරිඟු දිය නම් පලය කුමටද

අසරණ ව වන                  හිස
සරන විට දස                  දෙස
ලැබුණු මුත් මිණි              රැස
අගය එහි වෙද දුටුව පෙරලෙස

ලබැඳි ඔබ සිහි                    වී
හදවත තැවෙයි තනි            වී
ලියුව මුත් කවි                    ගී
හදෙහි සෝ දුක් නොයයි පහවී

සන්නාලියකි ඈ..

දිවා  රැයේ  සළු  වියා  වියා  ඈ
                             වෙසේ තුරුණු හද විමන් වසා
රිදී  සිනා  ඇගෙ මැකී  ගියා දෝ
                             විඩා  මුවග  දහදියෙන් තෙමා
සරා බිඟුන්  කැළ නුරා  බැලුම් දී
                             ඇගේ ලඟින්  තටු  සලා  ගියා
සලා නෙතඟ මුදු කෝළ කතා නෑ
                             දෙපා  නඟයි  දිවි  සටන කරා

Friday, November 5, 2010

මිරිඟු දිය පවස

ඇගේ   සිනහව   රැඳුණු  මුවගට
ඇගේ  නිලුපුල්  සදිසි  දෙනෙතට
පෙමින් බැඳුනෙමි බොහෝ කල් සිට
දිරිය   නොමැතිව   කියා  ගන්නට

පෙරුම් පුරමින් හමුව මගතොට
දැනෙන  සිතුවිලි   මුසුව වදනට
ගැහෙන  හදකින්  යුතුව ඈ හට
පැවසුවෙමි  මම  ළංව  සවණට

වදන   ඇසුණා  මහද  රිදවන
එයින්  පසු  කී  කිසිත් නෑසින
විවර කළ විට වැසුනු දෙනයන
ඈත යන රුව  දුටිමි බොඳවුන

සිහින ලොව තුළ නොදැක ඒ වත
එකම   රැයකදු  පහන්   වී නැත
ඇගේ සෙනෙහස නමැති මී විත
නෙලැබ  මා  සිත මිලින වී ඇත

Wednesday, November 3, 2010

සොඳුරියේ හද වෙසෙන..!

මරු කතර නොමැති දිය
මතු කරයි  පිපාසය
ඒ නමුත් නොසැලුනෙමි
ගඟුලැල්ල ලඟ නිසා

දහදියෙන් නැහැවි ගත
ගිම් පවස් බොහෝ ඇත
ඒ නමුත් නොතැවුනෙමි
පවනැල්ල සුව පතා

දුක් ගැහැට විඳී හද
පාළුවේ යවුල් වැද
ඒ නමුත් සැනසුනෙමි
සෙවණැල්ල දෙස බලා

ආලයෙන් දැවෙයි සිත
වේදනා  කඳුළු  මැද
ඒ කඳුළු නොසැළුවෙමි
හසරැල්ල එයි සිතා

ඒ සිහිල් ගඟුලැල්ල, සුව සදන පවනැල්ල
හැර නොයන සෙවණැල්ල හා මිහිරි හසරැල්ල
ඔබ මිසක වෙන කවුද

සොඳුරියේ හද වෙසෙන..!

Tuesday, November 2, 2010

Someday

If I could make my life,
It would be just you and me,
No worries at all,Just happy as can be,
We would be,
For there's no one else I know,
Who with me,makes the perfect time,
And I know someday,
In another place in time,
My wishes will come true,
When I am with you...

දිගැසෙක වරුණ

මඳනල  හමනු  ඇත  සිප  ඔබ  නිතරතුර
බිඟුරළ ඇදෙනු ඇත එකවර නෙළුම හැර
දහවල  දුටුව හොත්  ඔබ  රුව  මියුරුතර
හිරු ගිල නොගනු ඇත  මින්මතු අවරගිර

නිරතුරු  ඇසෙන  විට  සුමියුරු  විහඟ නද
මඳමරු ගෙනන විට කුසුමෙක සුවඳ පොද
පිවිතුරු  ලකල  ඔබ  හද  ගැබ  උරුම  සඳ
දුක දුරු  කෙරෙයි මෙන් හිරු දුටු තුසර බිඳ

මනනඳ  තමර මධු  රස විඳි පසුව සොඳ
සිඳුරද  වුවද  නොදමනු  ඇත  පවස සිඳ
ඇති සඳ ඔබේ මනයොනසැර පහර වැද
සුරරද  විඳින  දිව  සැප  වුව අවැසි වෙද